May 23, 2008

ගහක මල් පිපිලා

ගහක මල් පිපිලා - පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී
හිතක මල් පිපිලා - පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමී

කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්‌සට දැවෙන කතරක්‌ ආදරෙයි පන මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
කරනු බැරි තහනම් ...

සඳට සදහට සෙනේ පෑ මුත් දුදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකම තරුවක්‌ සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම් ...

May 6, 2008

හද සැලෙනා

හද සැලෙනා නා දල්ලයි - ඔබ සීතල සුළඟයි
හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි
ඔබමය සතුට ද - ඔබමය කඳුල ද
ඔබමය ලොවම මගේ

ඔබමය දියවර තාපය නිම කළ මා දිවි උයන දැවූ
ඔබමය පන නල සුරකින නළ වැල
ඔබමය මිහිමත සැනසුම සහනය මා දිවියේ
පිවිතුරු සිහිනය

ඔබමය දිනකර මාවත ඝනඳුර බිඳ හැර එළිය මැවූ
ඔබමය ඉසිවර බිඳි හද සුව කළ
ඔබමය සිත නෙත අයදින දෙව් රුව ආදරයේ
පිවිතුරු සිහිනය

April 11, 2008

හදවත පාරන

හදවත පාරන සොඳුරු හැඟුම්
සිර කරගෙන හිටියා ඇති දැන්
සවනට ලං වී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්

ඇසට ඇස තියා බලාන ඉන්න
ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
නිමක්‌ නැතිව මල් හාදු පුදන්න
හිනා වෙලා මගෙ පෙම පිලිගන්න

කඳුලු පිස දමා සිනහ නගන්න
අඳුරු ලොවට මිණි පහනක්‌ වෙන්න
සංසාරෙම එක්‌ වෙලා හිඳින්න
මගෙ පෙම පිලිගෙන අවසර දෙන්න

සිතින් මා නොසැලී

සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින්
නිවා දැමූ ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනවී

තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක්‌ වේ නුඹ රැඳී දෑසේ

තවම මා නොදුටූ සිනා කැන් හමු නොවූ යාමේ
කඳුල මට කරුනා කරන්නැයි අයෑදිමි නිබඳේ

රචනය: ප්‍රේමකීර්ති ද. අල්විස්‌
සංගීතය: ස්‌ටැන්ලි පීරිස්‌
ගායනය: ටී. එම්. ජයරත්න

කඳුළු බිඳක්‌

කඳුළු බිඳක්‌ මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයැදින්නට එපා මගෙන්

කුළුඳුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනි වේ නම්

එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙක්‌ නම්
තනි වෙන්නම් සැමදා
ඔබ සැනසේ නම්

රචනය: බන්දුල ජයසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: රූකාන්ත ගුණතිලක

ඈත එපිට හිම කන්දෙන්

ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමගින් ආ
ආදරයේ පිනි කැට පොදි
සිලි සිලි ගා සැලුනා
පිනි කැට බිඳුනා

නැගුණු සීත වා රැලී
මියුරු මිහිරි ගොපළු ගී
ලිහිණි හඬින් මන්දාරම
සිලි සිලි ගා සැලුනා
පිනි කැට බිඳුනා

ලයට තුරුළු පාළුවෙන්
මීදුමෙන් වෙලා ගොසින්
හදෙහි ඇඳි පින්තාරුව
බොඳ වෙලා ගොසින්

හඬන්න ලංව

හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලත වෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ

තරු ඇසක්‌ ඇරී උදා ගිරේ
බිම් මලක්‌ මුවින් සිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම් මලේ සිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවා ද
ඒ දුකත් වසන් ව යා ද
මේ අරුත දෝ ආදරේ

රචනය: බන්දුල නානයක්‌කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: එඩ්වඩ් ජයකොඩි & ධම්මිකා බන්ඩාර